අමරකීර්ති ඝාතන  තීන්දුවෙන් පසු ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී තැනට වැටුන ජනාධිපති අනුර

2022 මැයි මස 9 වෙනිදා සිදුවූයේ කිසිවකුත් නොසිතූ ක්‍රියාදාමයකි. ඒ 2022 අප්‍රේල් මස මුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙසට ගෝල්ෆේස් පිට්ටනියේ බන්ඩාරනායක පිළිරුව ඇති කොටස මූලික කරගෙන ගෝඨා ගෝ ගමද අරලිය ගහ මන්දිරයේ ගාළු පාරේ දොරටුව ඉදිරියේ මයිනා ගෝ ගමද ලෙසින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ කණ්ඩායම් දෙකක් අරගල ව්‍යාපාරයක් පටං ගත්තේය.

දිනක් ගත වෙන විට එම ස්වේච්ඡා පිරිස අතරට ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක් සම්බන්ද විය. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ද  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සහ ජනාතා විමුක්ති පෙරමුණට සම්බන්ද සමාජවාදී ශිෂ්‍ය සංගමය යි. ඔවුන් දෙපාර්ශවයම හඩ ගා කීවේ එකම සටන් පාඨ පෙළකි. 87/89 කාළයේ කියූ එම සටන් පාඨ 2022 ට ගැලපුනේ කෙසේදැයි  අදටත් ප්‍රශ්නයකි.

එම සටන් පාඨ මෙසේය ” කපා කපා කෑලි කපා – අප නවතනු සිතනු එපා ,අපි යන්නේ කොයි පාරේ – ත්‍රීමාවෙනුර ගියපාරේ ” ඒවා 87/89 දී කියූ ඒවාය.

අරගලයේ සිටි අය සේම එය නැරඹීමට පැමිණි අයද බිස්ටල් බෝඩ්වල ඇඳි පෝස්ටර් අල්ලාගෙන සිටියේය. ඊට දින දෙකකට පසුව තවත් දේශපාලන කණ්ඩායම් දෙකක් සහ දේශපාලනයෙන් පරිබාහිර කණ්ඩායම් කීපයක් අරගලයට එකතු විය. දේශපාලන කණ්ඩායම් දෙක වූයේ එක්සත් ජාතික පක්ෂය සහ බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවූ  කණ්ඩායමයි. බැසිල් රාජපක්ෂ විසින් පෝස්ටර් අල්ලන් සිටි අයට ඒ වෙනුවට ශ්‍රීලංකාවේ ජාතික කොඩි ලබාදීම නිසා පෝස්ටර්  ප්‍රදර්ශනය 80% කින් පහත වැටුනි. අරගලයේ සැබෑ තත්වය එය වුවද එය වෙනස් කිරීමට අරගලයට ඍජුවම දායකත්වය දැක්වේ ශ්‍රීලංකාවේ ඇමරිකාණු තානාපති කාර්යාලය සහ රාජ්‍ය නොවන සංවිධානය ක්‍රියාත්මක විය.

ඒ අරගලය නැරඹීමට පැමිනෙන සෑම කෙනෙකුටම ආහාර පාන සැපයීමෙනි. අරගලය කානිවෙල් එකක තත්වයට පත්විය. අරගලය නිහඩ වූයේ පාන්දර එකත් පහත් අතර කාළය තුලය. ඒ අරගලය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් නොපැමිණි කාළය පමණක් අරගලය නිහඩතාවයක් ඇති විය. ගෝල්ෆේස් අරගල කරුවන්ට සහය පලකරමින් ලංකාවේ සෑම නගරයකම ගෝඨා ගෝ ගම නමින් අරගල කන්ඩායම් ඒකරාශී වෙමින් ආණ්ඩුවට විරෝධය පෑම ඇරඹුණි.

 එක් උච්ච අවස්ථාවක් වූයේ මැයි මස 9 වෙනි දින උදයවරුවේ එවකට පාලක පක්ෂය වූ පොදුජන පෙරමුණ පාක්ෂිකයන් කණ්ඩායමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිළ නිවස වූ අරලිය ගහ මන්දීරයට කැදවීමයි. ඉන් අනතුරුව සිදුවූයේ ඔවුන් පෙර සැලසුම්කර ගත් පරිදි  තම පාක්ෂිකයන්ව මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට  පහරදී අරගලකරුවන් පලවා හැරීමට පිටත් කරයැවීමය.මයිනා ගෝ ගමට පහර දුන් පොහොට්ටු පාක්ෂිකයන් ගාළුපාර දිගේ පෙළපාලියකින් ගෝල්ෆේස් වෙත ගියේ ගෝඨා ගෝ ගමට පහර දීමටය.

ඔවුන් පොලීසියේ සහයද ඇතිව ගෝඨා ගෝ ගමට පහර දුන්නේ ය. ගත වුනේ මොහොතකි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක තම සඟයන්ද පිරිවරාගෙන ගෝල්ෆේස් පිටිය වෙත ගියාය. අරගල භූමියේ සිට අරගලකරුවන්ට පහරදීම හෙලාදකිමින් අදහස් ප්‍රකාශ කල අතර මොන බාධක ආවත් අරගලයේ පූර්ණ ප්‍රතිපලයක් ලැබෙන තෙක් නැවත හැරෙන්නේ නැතිබවත් ඔහු ප්‍රකාශ කලේය.

 ඒ සමගම සිදුවූයේ  ඒ අවට සිටි සියළුම රජයේ සහ පුද්ගලික ආයතනවල් සේවයේ නියුතු වූවන් ස්වේච්ඡාවෙන්ම පැමිණ නිරායුද අරගල කරුවන්ට පහර දුන් කණ්ඩායමට පෙරලා පහර දීම ආරම්භ කිරීමයි. එයලැව් ගින්නක්සේ ක්ෂණිකව රට පුරා පැතුරුණි. කොළඹ දී පහර දීමට අමතරව පොහොට්ටුවේ පාක්ෂිකයන් පැමිණි බස් රථ සහ පාක්ෂිකයන්ව බේරේ වැවට දැමීම සිදුවන විට කොළඹින් පලා ගිය පාක්ෂිකයන්ට ඔවුන් ගමන් ගත් බස් රථ ඇතුළු වාහන නවතා පහර දී ඒවා ගිණි තැබුවෙිය. එසේ පලා යමින් සිටි වාහනයක් නිට්ටඹුව නගරයේදී එහි සිටි අරගලකරුවන් විසින් නතර කල අවස්ථාවේ දී එම වාහනයේ සිටි අයකු පිස්තෝලයක් භාවිතා කරමින් තමන් ගමන් ගත්  වාහනය නතර කල අරගල කරුවන්ට වෙඩි තබා තිබුණි. ඉන් අනතුරුව වෙඩි තැබූ අය වාහනයේ සිටි තවත් අයෙකු සමග පලායන අයුරු සීසීටීවී දර්ශන වලින් පෙනුනි. ඊට පසුව ඇති වූයේ ඉතාමත් කනගාටුදායක සිදුවීම් පෙළකි

 අදාල වාහනයේ පැමිණ තිබුනේ පොලොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ වූ අතර අරගල කරුවන්ට වෙඩි තබා තිබුනේ ඔහුගේ සමීපාරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් ගුණවර්ධන ය. වෙඩි තැබීම නිසා තිදෙනෙක් තුවාල වූ අතර ඉන් එක් අයකු ඊට සුළු මොහොතකට පසු මිය ගිය අතර අනෙක් දෙදෙනාගේ තත්වය බරපතල විය. තම සගයකු මිය ගිය බව ආරංචි  වූ විගස කිපුන අරගලකරුවන් විසින් වෙඩිතබා පලාගොස් සැගවී සිටි පොලිස් සැරයන් ගුණවර්ධනව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ අල්ලාගෙන තිරස්චීන ලෙස පහරදී මරා දමන ලදි. එහි නිදිතම ක්‍රියාව වූයේ මැයි 09 වෙනිදා සවස පොළු මුගුරුවලින් පහරදී මරා දැමූ මන්ත්‍රී වරයාගේ සහ ආරක්ෂක නිළධාරියාගේ සිරුර නිරුවත්කර 10 වෙනිදා උදෑසන යුධහමුදා සහය ඇතිව පොලීසිය බාරයට ගන්නාතුරු වැස්සට තෙමෙමින් පාරේ ප්‍රදර්ශනය කර තිබුණි.

මැයි 09 වෙනිදා සවස ලංකාව පුරාම සිදුවූ සිදුවීම් ගිණිතැබීම් ගැන වැඩිදුර නොලියමි රැසකි.ඉන් අනතුරුව මෙම මරණ තුන පිළිබදව විමර්ශනය ඇරඹිණි. මියගිය අරගල කරුගේ ඝාතනය වෙනුවෙන් වගකිව යුතු මන්ත්‍රී වරයාගේ ආරක්ෂක නිළධාරියා මියගොස් තිබූ නිසා එම ඝාතනය ගැන වැඩිදුර අධිකරණමය ක්‍රියාවලියක්  සිදුනොවුණි. නමුත් මරාදැමූ  මන්ත්‍රී වරයාගේ සහ ආරක්ෂක නිළධාරියාගේ මරණ පිළිබදව අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය. ලංකාවේ ප්‍රථම වරට මෙම ඝාතන දෙක පිළිබදව අධිකරණ ක්‍රියාවලියේදී නව විද්‍යාත්මක සාක්ෂි රැසක් ඉදිරිපත් කර තිබුණි. එම සාක්ෂි කිසිවෙකුටත් බිඳිය නොහැකි තරම් ප්‍රභල විය.

සීසීටීවී දර්ශන රජයේ රස පරීක්ෂක විසින් පරීක්ෂා කොට අත්ඩංගුවට ගත් පුද්ගලයන්ගේ මුහුණ සහ දේහලක්ෂණ වලට 100% ක් සමාන බව පැහැදිලි ලෙසම පවසා තිබුණි. සැකකරුවන්ගේ දුරකතන දත්ත දුරකථන කුළුණු සමග සසදා ඔවුන් නිට්ටඹුව නගරයේ අදාල ස්ථානයේ සිටි බවට තහවුරු කරගෙන තිබුණි. ඔවුන් එකිනෙකා අතර සිදුව ඇති දුරකථන සංවාද හරහා ඔවුන් එකම චේතනාවෙන් එකට සිටි බව ඔප්පු කර තිබුණි. අත්ඩංගුවට ගත් පොළු මුගුරුවල මරණකරුවන්ගේ රුධිරය තැවරී තිබුණ බවත් එහි සැකකරුවන් ගේ ඇඟිලි සලකුණු රජයේ රසපරීක්ෂක විසින් ඉදිරිපත් කල සාක්ෂිය සැකයකින් තොරව අධිකරණය විසින් පිළිගෙන තිබුණි. මෙම නඩුකරය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ දී මෙහෙයවූයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බංඩාර ය. ඔහු මෙම නඩුව වෙනුවෙන් කොතරම් කැපවී ක්‍රියාත්මක වූයේද යන්න ඔහු විසින්  නඩුවේ තීන්දුව ලබා දීම සදහා විනිසුරුවන් වෙත ඉදිරිපත් කර තිබූ පිටු 700 කට අසාන්න පැමිණිල්ලේ අවසන් ලිඛිත දේශනය සාක්ෂි දරණු ඇත.

 ඔහු විසින් එම ලිඛිත සාක්ෂියේ නඩු පවරා ඇති සැකකරුවන් 41 දෙනාගෙන් 31 දෙනෙකුට මරණ දඩුවම ලබාදිය යුතු බවට යෝජනා කර තිබුණි. නමුත් විනිසුරුවන් විසින් බෙඳුනු නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලදි. චූදිතයන් 41 දෙනාම විනිසුරු කණ්ඩායමේ සභාපති විනිසුරු සහන් යාපා බංඩාර මහතා විසින් නිදොස් කර නිදහස් කර තීන්දුව ලබාදුණි. රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විසුරුවන් විසින් සැකකරුවන් 41 ක් දෙනාගෙන් 12 දෙනෙකුට මරණ දණ්ඩනයද 4 දෙනෙකුට මාස 6 ක සිරදඩුවම් වසර 5 කට ක්‍රියාත්මක වන අත් හිටවූ සිර දඩුවම් ලෙසටත් මරණ කරුවන් දෙදෙනාගේ බිරින්ඳෑවරුන්ට එක් අයෙකු රුපියල් 5000 බැගින් වන්දි ගෙවන ලෙසට තීන්දුව කරතිබුණි.

අදාල වන්දිය ගෙවීම පැහැර හැරියොත් චූදිතයන්ට වසර දෙක බැගින් දඩුවම් නියම කර තිබුණි.  තීන්දුව ප්‍රකාශයට පත් කරාට පසුව මරණකරුවන්ගේ පවුල් වලින් අදාල දඩුවම ප්‍රමාණවත් නොවන බවටත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යෝජනා කල 31 දෙනාටම මරණ දඩුවම ලබා දියයුතු  බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් කලයුතු බවට ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයාගේ රාජකාරීමය නීතීඥයා වන නීතිපති විසින් එම අභියාචනය ඉදිරිපත් කරණු ඇත. ලංකාවේ ප්‍රසිද්ධ නඩුවක් වූ රෝයල් පාක් හිදී ඉවෝන් නම් තරුණිය මරාදැමීමේ නඩු තීන්දුවේදී වූයේද මෙයයි. මරණ කාරියගේ පවුලේ අයගේ ඉල්ලීම අනුව මහාධිකරණ චූදිතයාට ලබාදුන් බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සිදුකල අභියාචනය නිසා චූදිතයාට මරණ දඩුවම නියම විය.

 අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුවෙන් පසුව ආන්ඩුව පාර්ශ්වයෙන්  එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත්විය. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කීවේ ලබාදුන් දඩුවම ගැන තමා සතුටුවන බවත් 2026 දී ඔවුන් තිබූ වාර්ථා ඔවුන් විසින්ම බිඳ දමන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ කීවේ  මෙම තීන්දුව පාරේ විවේචනය නොකර එය අධිකරණය ඉදිරියේම අභියෝගයට ලක් කල යුතු බවයි.

ආණ්ඩුවේම තවත් පාර්ශ්වයක් වූ අරගලයේ නීතීඥයෝ සංවිධානයේ නීතීඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ මරණ දඩුවම නියමවූ 12 දෙනා වෙනුවෙන්ම අභියාචනා ඉදිරිපත් කරන බවයි. එසේම ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියේ ගෝල්ෆේස් සිදුවීමට අදාලව නඩු 32 ක් ඇති බවත් කොන්දේසි විරහිතව එම නඩු ඉල්ලා අසකර ගත යුතු බවයි. එසේම ඔහු ජනාධිපති වරයාට මතක්කර සිටියේ මැයි 9 වෙනිදා අරගල භූමියට පැමිණ අරගල කරුවන් සමග සිටින බවත් අරගලයේ සාමාජිකයන් අමතක නොකරනබවට කල ප්‍රකාශයයි.

රාජකාරීමය ජනාධිපතිගේ නීතීඥයා ලබාදුන් මදි බව කියා අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවිට ආණ්ඩුවේම පාර්ශ්වයක් දඩුවම් ලැබූවන් නිදහස් කරන ලෙසට අභියාචනයක් ඉදිරිපත් කිරීමටයයි.

 අරගලයට සම්බන්ද වූ  අයගෙන් 1300 කට අධික ප්‍රමාණයකට  ලංකාව පුරාම අධිකරණ ඉදිරියේ නඩු සිය ගනනක් විභාග වෙමින් පවතී. අරගලයේ දිගුවක් ලෙසට මෙම ආන්ඩුව බලයට පත්වී දැනට මාස 17 කට ආසන්න වුවත් 2022 දී ඇතිවූ අරගලය ගැන නිසි විමර්ශනයක් කිරීමට කිසිම යාන්ත්‍රණයක් වත්මන් පාලකයන් සැදුවේ නැත. ඒ ගැන කරුණු දක්වන විට ඔවුන් අපිට අපහාසයෙන් සිනාසුනාය. දැන් එක එක බයිලා කියන්නේ වත්මන් නඩු තීන්දුව නිසාය. අරගලය නිසාම අධිකරණය ඉදිරියේ නඩු 4 ක් ඇති මට නම් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු නඩය වෙත ඇත්තේ වචනයෙන් කිව නොහැකි පිළිකුලකි.

වත්මන් පාලකයන්ට අවශ්‍ය වූයේ බලය පමණි. දැන් ඔවුන්ට බලය ලැබී ඇත. බලය ලබා දීමට මුල් පාර කැපූ උන් දැන් ඔවුනට වැඩක් නැත. ඒ බව හොදින්ම අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයෙන් හොඳින්ම පැහැදිලිය. ඇත්තටම පාලකයන් ට ලැජ්ජාවක් ඇත්තේම නැත. ලැජ්ජාවක් ඇති වුන් මෙවන් පාලකයන් වෙනුවෙන් කඩේ යනවානම් දෙවතාවක් නොව සිය දහස් වතාවක් කල්පනා කලයුතුය. නැත්නම් අවසානයේ පෝරකයට යන්නේ කඩේගිය එකාය. විඳවන්නේ උගේ පවුලේ උන්‍ ය.

(අරගලයට එක්වු අඛිල ධනංජය විසිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *