ලෝකයේ ප්‍රසිද්ධතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකගෙන් එක් අයෙක් වූයේ බුරුමයේ පාලක මිලිටරි ජුන්ටාවේ ආශිර්වාදය මත තායිලන්තය හරහා මුළු ලොවටම අබිං සහ හෙරෝයින් සැපයූ “කවුන් සා”ය. ඔහුව තායිලන්තයේ හමුදාව විසින් 2007 ඔක්තෝබර් මස 26 දින ඝාතනය කළේය.
අනෙකා වූයේ කොලොම්බියාවේ පැබ්ලෝ එස්කොබාර් ය. ඔහු ඇමරිකාව ප්‍රමුඛ මුළු යුරෝපීයේ සියළුම රටවලට කොකේන් සහ මරිජුවානා සැපයූ සැපයුම් කරු විය. ඔහුට කොලොම්බියාවේ පාලකයන් පමණක් නොව අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුලු සියළුම විනිශ්චයකාරවරුන් බිය වුහ. ඇස්කොබාර්ට එරෙහිව පනවා තිබූ නඩුවක් විනිශ්චය කිරීමට කොන්දක් ඇති එක් විනිසුරුවරයකු හෝ කොලොම්බියාවේ සොයා ගැනීමට නොහැකි විය. 1993 දෙසැම්බර් 2 වන දින ඇමරිකාවේ සහය ඇතිව ගිය ආරක්ෂක කණ්ඩායමක් සමග ඇතිවූ ගැටුමකින් ඔහු මිය ගියේය.
එස්කොබාර් කොලොම්බියාවේ බලගතු පුද්ගලයකු බවට පත්වූයේ ඔහුට තර්ජනයක් වෙතැයි සිතෙන සෑම කෙනෙකුම මරා දැමීමෙනි. යම් උගත්කමක් ඇති කෙසෙල්බද්දර පත්මේද එස්කොබාර් ගේ ජීවිත කතාව අනිවාර්යයෙන්ම කියවා ඇති බව ඔහු කිරීමට සැලසුම් කල දේවල් වලින් තහවුරු වන්නේය.
එම ඉලක්ක වෙත යාමට කෙසෙල්බද්දර පත්මේ කළේ ශ්‍රී ලංකා යුධහමුදා කොමාන්ඩෝ බලකායේ සේවය කල සලින්තට සම්පූර්ණ වගකීම පවරා යුධහමුදා වෙන් පලා ගොස් සහ සේවය අහවරකොට ස්ථිර ආර්ථිකයක් ගොඩනගා ගෙන නැති හොඳ වෙඩික්කරුන්ගේ කණ්ඩායමක් ගොඩ නැගීමය. සලින්ත එය අකුරටම ඉටු කළේය. ඉන් පසුව තමන්ට බාධාවක් වූ තම පියාගේ ගුරාවූ ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමය. ඒ සැලසුම් සියල්ලම නිශ්පල විය. ඊට පසු ඔහු කළේ තම පියාව ඝාතනය කිරීමට සම්බන්ද නැදගමුවේ පස් චමින්දව ඝාතනය කිරීමය.
ඉන්පසුව ඇතිවූ තත්වය හේතුකොට ගෙන පත්මේ විදේශ ගත්වූ අතර ඔහු සමග සලින්තද විය. විදෙස් ගත්ව සිටියදී තම පියාගේ ඝාතනයට හවුල් ගනේමුල්ලේ සංජීව කාන්තා නමකින් සෑදූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් නේපාලයට ඇතුල් වීමට යාමේදී නැවත ලංකාවට පිටුවහල් කිරීම නිසා පොලිස් අත් අඩංගුවට පත්විය. ඒ මොහොතේ සිට පත්මේ සැලසුම් කළේ කෙසේ හෝ ගනේමුල්ලේ සංජීව ඝාතනය කරන ආකාරය යි. එහි උච්ච අවස්ථාව වූයේ පසුගිය පෙබරවාරි මසදී නීතීඥයකුගේ වෙස් ගත් පුද්ගලයකු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුලට යවා ගනේමුල්ලේ සංජීව ව ඝාතනය කිරීමය.
අධිකරණ තුලදී කොතෙකුත් සැකකරුවන් විසින් සැකකරුවන් ඝාතනය කර ඇතත් නීතීඥයකු වෙස් ගත් පුද්ගලයකු සැකකරුවෙකු ඝාතනය කල ප්‍රථම අවස්ථාව එය විය.
එම ඝාතනය කොතරම් සැලසුම් සහගතව පත්මේ සිදුකරේද යන්න වෙඩික්කරුට පිස්තෝලය අධිකරණය තුලට ගෙන ගොස් ලබා දුන් ඉෂාරා සෙව්වන්දි ගැන රටේ ආරක්ෂක අංශ වෙත අදටත් නිසි තොරතුරක් සොයා ගැනීමට බැරිය. එම ක්‍රියාන්විතය සදහා පත්මේ සහය ලබා ගතහැකි සෑම කෙනෙකුගේම සහය ලබාගෙන තිබුණි. සංජීවගේ ආරක්ෂාවට යොදවා සිටි එස්ටීඑෆ් නිළධාරින්ගේ, බන්ධනාගාර නිළධාරින් ගේ පමණක් නොව අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සුළු සේවකයන්ගේ පවා සහය ලබාගෙන ඇත. ලබාගත් එම සහය කොපමණ දයත් සංජීව ඝාතනය ගැන පරීක්ෂණ කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණ පවා අදටත් ඉබි ගමනේය.
සංජීව ඝාතනය කිරීමෙන් පසුව පත්මේ සැලසුම් කරේ දැනට අත් අඩංගුවේ පසුවන නඳුන් චින්තක නොහොත් හරක් කටාව සයනයිඩ් දී ඝාතනය කිරීමටය. ඒ සමගම අත් අඩංගුවේ පසුවන වෙලේ සුදාව ඝාතනය කරවීමට ද සැලසුම් කළේය. මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටියේ කෙසෙල්බද්දර පත්මේ ඇතුළු කණ්ඩායම සමග සිටි තවත් අපරාධකරුවකු වූයේ ධරුන් ය.
ධරුන්ට පානදුරේ සලිදුද එකතුවිය. කෙසෙල්බද්දර පත්මේ කෙසේ හෝ ඔහුට තර්ජනයක් වන සියළුම දෙනා මරා දැමූ පසුව තමාවද මරා දමනු ඇතැයි සිතූ ධරුන් පත්මේව පාවා දෙන්නට තීරණය කළේය. අඬන්න ඉන්න එකාට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් වූයේ පත්මේ විසින් බස්නාහිර උතුර අපරාධ විමර්ශන ඒකකයේ ලින්ටන් සිල්වාට දුරකතනය ඔස්සේ තර්ජනය කිරීමත් කෙසෙල්බද්දර පත්මේගේ ගෝලයකුවූ දිවුලපිටියේ පස් දේවා කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට පත් වීමයි.
ඊට මාස කීපයකට පෙර පත්මේ සහ ධරුන් අතර වචන හුවමාරුවක් ඇති විය. ඒ ලංකාව තුලදී අයිස් මත්ද්‍රව්‍ය සැදීම සදහා ධරුන් විසින් එවනු ලැබූ පකිස්තාන් ජාතිකයන් දෙදෙනා විසින් ප්‍රමිතියෙන් තොර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 24 ක් මතුගම නිවසකදී සෑදීමය. එම අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කරේ නුවරඑළියේ බවට පෙර ලද තොරතුර වැරදිය. සචින් නැමති පුද්ගලයකු ලවා මතුගම නිවෙස ලබාගෙන තිබුණි. අදාල නිවස ගැන පියල් මනම්පේරි කිසිවක් දන්නේ නැත.එලෙස ඒවා සෑදූවේ මේ වසර මුලදී ඉරානයේ සිට අම්බලන්තොට ටයිල් බාස් කෙනෙකුගේ නමට පියල් මනම්පේරි ගේ නිවසට ගෙනා දැන් ප්‍රශ්න ගතව ඇති කන්ටේනර් දෙකේ තිබූ අමුද්‍රව්‍ය භාවිතා කරගෙනය. නිසි ප්‍රමිතියට අයස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට නොහැකි වූ නිසා ගෙනා අමුද්‍රව්‍ය වලදමන ලෙසට සම්පත් මනම්පේරිට පත්මේ උපදෙස් ලබාදී තුබුනි.
සම්පත් මනම්පේරි කන්ටේනර් දෙකේ තිබූ අමුද්‍රව්‍ය තම ඉඩමේ වලදැමූ අතර වල දැමීමට නොහැකිවූ එම අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5000 කට ආසන්න ප්‍රමාණයක් නෙටොල්පිටිය කනත්තට ගෙන ගොස් දැමුවාය. ධරුන්ගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ පත්මේව සහ සලින්තව පාවාදීමය. ඒ සදහා ධරුන් කරේ කාළය ගැනීම සදහා පත්මේව රැවටීමය. ධරුන් පත්මේට කීවේ “අපි ආයිත් ට්‍රයි කරමු. කොළඹ කිට්ටුව ගෙයකුයි කොළඹින් පිට ගෙයකුයි ගමු වැඩේට මම වෙන පකිස්තාන් කාරයන් දෙන්නෙක්ව එවනම් ” කියාය. පත්මේ ඒ ලනුව ගිල්ලේය. ඒ අනුව කඳානේ සහ නුවරඑළියේ ගෙවල් දෙකක් පත්මේ කුළියට ගෙන එම නිවෙස් දෙකටම සම්පත් මනම්පේරි ලගතිබූ අමුද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් ගෙන ගොස් තිබුනේ වැඩේ හරි ගියොත් ඉතිරිය ගෙන ඒමේ බලාපොරොත්තු වෙනි.
පස් දේවා අත් අඩංගුවට පත්වූ විගස ධරුන් ක්‍රියාත්මක වී ඔහුගේ පැරණි මිතුරකු වූ ඒ එස්පී ඕලුගලට කතා කර කෙසෙල්බද්දර පත්මේ ගැන සියළුම තොරතුරු ලබා දුන්නාය. පස් දේවා ඉන්දුනීසියාවට ගොස් පත්මේ හමුවී තිබුනද හරිහමන් විස්තරයක් දැන සිටියේ නැත. දේවා දැන සිටියේ පත්මේ සිටි එපාර්ට්මන්ට් එක ඉදිරිපිට ඇති ජිම් එකට සෙල්ලම් කරන්න යනබව පමණි.
ඒඑස්පී ඕලුගල සහ ඒඑස්පී ජයසුන්දර දෙදෙනා ඉතාමත් රහසි ගතව ඉන්දුනීසියාවට ගියද අතරතුරදී පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක එකළ සේවය කළ මාධ්‍යවේදියකු ඒඑස්පී ඕලුගලට වට්ස් අප් හරහා දුරකතන ඇමතුමක් ගෙන තිබූ අතර ඒඑස්පී ඕලුගල ඔහුට පවසා තුබුණේ තමන් ඉන්දුනීසියාවේ සිටින බවයි. අදාල මාධ්‍යවේදියා හැරෙන තැපෑලෙන් පත්මේට ඒඑස්පී ඕලුගල ඉන්දුනීසියාවේ බව දැනුම්දීමත් සමග පත්මේ සලින්ද සහ තැඹිලි ලහිරු තිදෙනා සිටි එපාට්මන්ට් එකෙන් පලා ගියේය.
ඔවුන් පසුපස හඹාගිය ඉන්දුනීසියානු පොලීසිය ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගන්නේ බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ ව බෝනස් ලෙසටය.
පත්මේ අත් අඩංගුවට පත්වීමට පෙර ආසන්න කාළය තුල ලංකාවට එවා තුබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකකට ආසන්නය එනම් රුපියල් කෝටි 200 කට ආසන්නය. ඒ මත්ද්‍රව්‍ය ලබා ගත් අයව පත්මේගෙන් වෙන්කර තමා වෙතට නැඹුරුකර ගැනීමේ සාර්ථක මෙහෙයුමක් ධරුන් විසින් දියත්කර ඇත. ඒ සදහා ඒඑස්පී ඕලුගලගේ සහ සීඅයි ලින්ටන් සිල්වාගේ පූර්ණ අනුග්‍රහය ලබාදෙන අතර ධරුන්ද ඕලුගල ට සහ ලින්ටන් සිල්වාට ප්‍රති උපකාර කරමින් සිටීන බව වාර්ථාවෙි. ඒ ගැන ඉදිරියේදි හෙළිදරව් කිරිමට නියමිතය.
ඒ අනුව තමාට තර්ජනයක් වන සෑම කෙනෙකුම ඝාතනය කර ලංකාවේ එස්කොබාර් වීමට පෙරුම් පිරූ කෙසෙල්බද්දර පත්මේට තමාගේම අතිජාත මිතුරාගේ පාවාදීම නිසා නතර වීමට සිදු වූයේ සිපිරිගෙයක කොටුවීමටය