ආනන්දට  භාර වු පාතාලයෝ හත් දෙනා දැක්කාද

ජාතික ජනබල වේගය ආණ්ඩුවට එල්ලවෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ බලයට පත්වීමට පෙර දුන් පොරොන්දු අමතක කර කටයුතු කරන්නේය යන්නය.එම කාරණයආණ්ඩුව පිලිබඳ ජනතා විශ්වාසය දෙදරා යෑමටද මූලික හේතුවක්ව තිබේ.එසේ තිබියදී බලයට පත්වීමට පෙර පමණක් නොව බලයට පත්වීමෙන් පසු කියූ දේවල් පවා අමතක වී හෝ හිතා මතා අමතක කරන්නට කටයුතු කිරීම ආණ්ඩුව කෙරෙහි ජන අප්‍රසාදයතීව්‍ර වන්නට හේතු වී තිබේ.

බලයට පත් වීමෙන් පසු ආණ්ඩුව ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වන්නේ පසුගිය වසරේ අප්‍රේල් 21 දිනට පෙර පාස්කු මහමොලකරු හෙළිදරව් කරන බවය.මෙමපොරොන්දුව දුන්නේ ආණ්ඩුවේ පාපිස්සක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වන ජනාධිපති අනුර කුමාර දිසානායකය.එම පොරොන්දුව ලබා දී වසරක් ගතවන්නටත් පෙර ආණ්ඩුවට මෙන්ම පාස්කු වින්දිතයන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට හෝ සූදානම් බව හැඟවෙන පරිදි කටයුතු කරමින් සිටි කාදිනල් උන්නාන්සේටද අමතකව ගොස් තිබේ.නැතහොත් අමතක

කර දමා තිබේ.

මේ ආකාරයට අමතක වී ගිය හෝ අමතක කර දමා තිබෙන, ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කළ කී කතා රාශියකි.ඒ අතර ඩුබායි හී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හත් දෙනෙකු ස්වේච්ඡාවෙන් භාර වීමට කැමැත්තෙන් සිටින්නේයැයි කී

කතාවද ඒ අතරට අයත් කතාවකි.පොලිස් ඇමති ආනන්ද විජේපාල මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ පසුගිට 2025 වසරේ නොවැම්බර් 09 දාය.විජේපාල ඇමතිවරයා මේ බව බොහෝ උජාරුවෙන් කියා සිටියේ ඒ දිනවල ජනප්‍රිය නාට්‍යයක් බවට පත්ව තිබූ කෙහෙල්බද්දර පද්මේ සහ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එමෙන් පසුවය.එහිදී ඇමතිවරයා මතුකරන්නට උත්සාහ කර සිටියේ පාතාලයට එරහිව ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන මෙහෙයුම් හමුව බියට පත්ව සිටින අපරාධකරුවන් යටත් වෙන්නට තීරණය කර තිබීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් ලෙසය.එසේම විදේශයන්ගේ සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට තානාපති අංශ හරහා එම රටවල් සමග සාකච්ඡා කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කළ බව අපට මතකය. ඒ අනුව යමින් ආණ්ඩුවේ ලොකු කුඩා හැමදෙනාම පුරාසාරම දෙඩුවේ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දමා මහජන ආරක්ෂාව සහතික කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටය.

එහෙත් අද දක්වාම ඇමතිවරයා කී ආකාරයට යටත්වූ අපරාධකරුවෙකු නැත.පද්මෙලාගෙන් පසු විදේශයන්ගේ සිට මෙරටට රැගෙන ආ එකදු අපරාධකරුවෙකු හෝ නැත.පද්මේට දේශපාලන සබඳතා තිබූ බවත් ඒවා එලි කරන බව කී නමුත් එසේ

කෙරුණු හෙලිදරව්වක්ද නැත.පද්මේ ඇතුළු කණ්ඩායමට මේ වනවිට කුමක් සිදුව තිබේදැයි දන්නේද නැත.රටේ තැන තැන සිදු වූ ඝාතන නැවතුනේද නැත.රට තුල මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිව තිබෙන බවක් වාර්තා වීද නැත.

පොලිස් වාර්තාවන්ට අනුව ගෙවී ගිය 2025 වසර තුල රට තුල වෙඩි තැබීමේ සිදුවීම් 114ක් වාර්තා වී තිබෙන අතර ඉන් පුද්ගලයන් 60 දෙනෙකු මිය ගොස් 57 දෙනෙකු තුවාල ලබා තිබේ.මෙම ඝාතන සිදුවීම් බහුතරය මෙහෙයවා ඇත්තේ විදේශයන්හී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් විසිනි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ලර් කියන ආකාරයට

ඩුබායි සහ තවත් රටවල සිට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම් 52ක් සිටිති. ඩුබායි හී සිටින අපරාධකරුවන් හත් දෙනෙකු භාරවීමට සූදානම් බවට ඇමති විජේපාල කී කතාව එක්කෝ ඒ අවස්ථාවේ ගැලරිය පිනවීමට කී කතාවකි.නැත හොත් අපරාධකරුවන් පිරිසක් ඇමති විජේපාල පමණක් නොව තුනෙන් දෙකේ බලගතු ආණ්ඩුවම ගොනාට අන්දා තිබේ.ඇතැම් විටෙක් එලෙස ආණ්ඩුව අන්දා ඇත්තේ අපරාධකරුවන් නොවන සාමාන්‍ය කෙනෙකුද විය හැකිය.එසේත් නැතිනම් විජේපාල ඇමති සහ ආණ්ඩුව රට අන්දන අපේක්ෂාවෙන් ඔවුන් විසින්ම ගොතන ලද කතාවක්

කිව්වාද විය හැකිය.

කුමක් කෙසේ වුවත් අපට කීමට ඇත්තේ ආණ්ඩුවට මතක වුවත් ,හිතා මතා අමතක කරන්නට උත්සාහ කළත් , ආණ්ඩුව දුන් පොරොන්දු කළ කී කතා ජනතාවට අමතක නොමැති බවය.එනිසා ජනතාව ඇන්දීම ටික කලක් කළ හැකි නමුත් හැමදාටම නොහැකි බව ආණ්ඩුව මතක තබා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *